මාකට් වන තාරුණ්‍යය
තාරුණ්‍යය යනු ජිවිතයේ සුන්දරතම අව්ධියකි .විසිඑක්වන සියවසේ ස්මාර්ට් ලෝකයක් තුල හුස්ම ගනිමින් සිටින අපේ කාලයේ තාරුණ්‍යයට එකී සුන්දරත්වය විදගත හැකිද යන්න ගැටලුවකි .අපේ අම්මලා අප්පචිචිලගේ තාරුණ්‍යට වඩා අද අපේ තාරුණ්‍ය සංකීර්ණය .සියලුම සම්බන්ධතා තාක්ෂනය සමග මුසුකොට ස්මාර්ට් ඩිවයිස් එකකින් ලෝකය බලන අපේ තරුණකම වර්තමානයේ වෙළද ප්‍රචාරකයන්ට සොදුරුතම ගොදුරක් බවට පත වී ඇත .නව ලෝකය හා ගැටෙමින් තාක්ෂණයේ පරිණාමවාදී ප්‍රතිඵල භුක්ති විදීමට වර්තමාන තාරුණ්‍යට අයිතියක් ඇත .එහෙත් එම අයිතිය හෝ අවශ්‍යතාව සිමාව ඉක්මවා භාවිත කිරීමට යාමෙන් තාරුණ්‍යයේ සුන්දරත්වය අහිමි වන මට්ටමකට පැමිණිය යුතුද නැත .වෙළද ප්‍රචාරනය හුදෙක්ම මාධ්‍යයේ ප්‍රගමනය උදෙසා අවැසි අත්‍යවශ්‍ය කරුණකි.නුතනයේ බොහොමයක් වෙළද සන්නාමයන් ඉලක්ක ගත ග්‍රාහකත්වය බවට පත්වන්නේ තාරුණ්‍යයයි .එහෙත් එම වෙළද සන්නාමයන් සිය ලාභ ප්‍රයෝජන උදෙසා තාරුණ්‍යට ලබාදෙන්නේ සුදුසුම දේ දයන්න පිළිබඳව සිතා බැලිය යුතුය .තාරුණ්‍යයේ සුන්දරත්වය සමග ඇතිවන හැගීම්බර ස්වභාවය ඔවුන් තම නිෂ්පාදන ජනතාව අතරට ගෙන යාමට උපක්‍රමයක් ලෙස භාවිතා කරයි .විශේෂයෙන්ම විලාසිතා ,සුවද විලවුන්,ක්ෂණික ආහාර ,දුරකථන සමාගම් ,අන්තර්ජාල සේවා සපයන වෙළදපොල තුල තාරුණ්‍ය ඉතා ප්‍රබල ලෙස විකිනෙන අයුරු දැකගත හැකිය.
වර්තමානයේ වෙළද දැන්වීම් තුල කාන්තාවගේ ,නැතහොත් තරුණියගේ ශරීරය කෙතරම් ප්‍රබල වෙළද උපක්‍රමයක් බවට පත්ව තිබෙන්නේද ?තරුණ ප්‍රජාව පමණක් නොව කුඩා දරුවාගේ පටන් වැඩිහිටියා දක්වා සියලු දෙනා ආකර්ෂණය කරගැනීමට එම ස්ත්‍රී රුපයඋදෙසා ලැබෙන මුල්‍යමය අගයට හැකිවී තිබේ .විද්යුත් මාධ්‍යයේ වේවා මුද්‍රිත මාධ්‍යයේ වේවා කිසිදු වෙනසකින් තොරව තාරුණ්‍යය අවම අගයකට නමුදු වැඩිම ලාභයක් උදෙසා විකිනෙයි .වෙළද ප්‍රචාරණයේ ප්‍රධාන අරමුණ සාක්ෂාත් කරගැනීම සදහා රටේ කොදු නාරටිය සිල්ලරට ලන්සු තබන යුගයක තාරුණ්‍යයේ සුන්දරත්වය විදගන්නේ කෙසේද ?වර්තමාන ලෝකයට ආකල්පවලින් සංවර්ධනය වූ තාරුණ්‍යයක් අවැසිය.එනම් වෙළද ප්‍රචාරනය තුල ඇති යටි පෙළ තේරුම් ගැනීම උදෙසා යම් දැනුමක් අවශ්‍ය වේ.ස්මාර්ට් ලයිෆ් සොයායන යුගයක නියම ස්මාර්ට් ජීවිතය අපට ලගාකරගත හැක්කේ එවිටය .තාරුණ්‍යට දොස් නැගීම මෙයින් සිදු නොකරයි ,තවමත් තුන්වන ලෝකයේ සංවර්ධනය වන රටක් ලෙස ලයිස්තු ගතවී ඇති අපේ රට වෙනස් කිරීමට සමත් ප්‍රබල තාරුණ්‍යයක් අවශ්‍ය යුගයකට මේ වන විට අප පැමිණ සිටිමු .රටේ දේශපාලන අධිකාරියේ පටන් මාධ්‍ය ආයතන ,ව්‍යාපාරික ප්‍රජාව ආදී සියලු පාර්ශවවල සහයෝගය මේ සදහා අනිවාර්යයෙන්ම අවශ්‍ය වේ .
ආකල්පවලින් සංවර්ධනය වූ තාරුණ්‍යයක් ගොඩනැගීම සදහා අප රටේ පවතින අධ්‍යාපන පටිපාටිය ප්‍රබල දායකත්වයක් දැක්විය යුතුය .දැනුමින් පමණක් පිරිපුන් මිනිසෙකු නොව එම දැනුම ප්‍රායෝගිකත්වයට නැගිය හැකි මිනිසෙකු තැනීම අධ්‍යාපනයේ වගකීමයි .එය පාසලේ ගුරුවරයාට හෝ විශ්ව විද්යාල කථිකාචාර්යවරයාට හෝ සමාජයේ කවර පුද්ගලයෙකුට හෝ තනියෙන් සිදු කළ හැකි කටයුතතක් නොවේ.එහිලා තරුණයා ප්‍රථමයෙන් ක්‍රියාත්මක විය යුතුය ,සියලු දේ විකිනෙන ලෝකයක තාක්ෂනය සමග මුසුවී ආකල්ප සංවර්ධනය කරගැනීමට උත්සුක විය යුතුය .කියන්නා කෙසේ කිවත් අසාන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුය යන කියමන අනුගමනය කොට වෙළද ප්‍රචාරණයට ,සයිබර් ලෝකයට ස්මාර්ට් ගොදුරක් නොවිය යුතුය ,තමන්ට අවශ්‍ය දේ පමණක් නිවැරදිව තෝරාගෙන සරු දේ වගාකොට සරු අස්වැන්නක් ලබාගැනීමට උත්සාහ කල යුතුය .එවිට වර්තමානයේ මුදලට විකිනෙන තාරුණයේ සැබෑ සුන්දරත්වය විදගැනීමට මෙන්ම සංවර්ධිත රටක් බවටද පත්වීමට හැකිය .එහෙයින් මෙය මාකට් වන තාරුණ්‍යය උදෙසා කරන ලද දයාබර ආයාචනයක් ලෙස සිහි තබාගැනීම මැනවි .







