Wednesday, July 24, 2019

my articles











සෞඛ්‍ය සන්නිවේදනය ප්‍රායෝගිකව අත්විදිමු .


සෞඛ්‍ය සන්නිවේදනය ප්‍රායෝගිකව අත්විදිමු .

                                      






ලෝක සෞඛ්‍ය සංවිධානය යනු සමස්ත ලෝකයේම වෙසෙන ජනතාවගේ සෞඛ්‍ය හා යහපත් ජිවන රටාවක්  සඳහා පිහිටුවාගත් ආයතනයකි. එනමුත් සියලු දෙනාගේම යහපත් සෞඛ්‍ය ආරක්ෂා කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානයට පමණක් නොහැකිය .ඒ සඳහා ජනතාවගේ සහයෝගය අත්‍යවශ්‍ය වේ .වර්තමානය වන විට මුළු ලෝකයම  සෞඛ්‍ය අභියෝගයන්ට මුහුණ දී සිටින බව අපි දනිමු .ශ්‍රී ලංකාවාසීන් වන අප ද මෙම තත්වය අත්විදීමේ කොටස්කරුවෝ බවට පත්ව  සිටිමු .සෞඛ්‍ය අභියෝග පිළිබද සදහන් කිරීමේදී වර්තමානයේ ප්‍රධාන වශයෙන් පාරිසරික ගැටළු නිසා එම අභියෝග ඇතිවන ආකාරය දැකිය හැකිය.පාරිසරික ගැටළු වලට හේතු වන්නේ පරිසර දුෂණයයි .එම නිසා පාරිසරික ගැටලුවලට විසදුම් සෙවීමෙන් පරිසරයෙන් ඇතිවන සෞඛ්‍ය අභියෝග ජයගත හැකිය .ප්‍රථමයෙන්ම කල යුත්තේ පරිසරයට හානියක් නොවන පරිදි නිරන්තරයෙන් පරිසරය පිරිසිදුව තබාගැනීමයි .එහෙත් වර්තමානයේ කැලිකසල ගැටලුව නිසා පරිසරය පිරිසිදුව තබාගැනීම සිදුකල නොහැකිය .එසේනම් මෙයට විසදුම කුමක්ද ?මෙයට ගතහැකි හොදම ක්‍රියාමාර්ගය ලෙස පරිසරවේදීන් දක්වන්නේ කසල ප්‍රතිචක්‍රීකරණයයි .කසල ප්‍රතිචක්‍රීකරණය කිරීමට නම් කසල වර්ගීකරණය සිදුකර යුතුය .පසුගිය කාලයේදී කසල වර්ගීකරණය උදෙසා රජය විවිධ ක්‍රියාමාර්ග ගෙන තිබිණි .ඒ අනුව දිරන /නොදිරන ද්‍රව්‍ය වෙන වෙනම එක්රැස් කිරීම උදෙසා නොයෙක් වර්ණයෙන් කසල බඳුන් ලබාදෙන ලදී .එහෙත් එම ක්‍රියාව සාර්ථක වී නොමැත .කසල ප්‍රතිචක්‍රීකරණය කිරීමට  රාජ්‍ය අංශයේ අනුග්‍රහය නිරතුරුව අවශ්‍ය වේ.පොලිතින් ,ප්ලාස්ටික් පිළිබද ප්‍රශ්නය දිගු කාලයක් තිස්සේ තිබෙන්නකි .වරෙක පොලිතින් තහනම් කිරීමට සුදානම් වුවත් එය සාර්ථක නොවුනි .පොලිතින් හා ප්ලාස්ටික් පහසුවෙන් භාවිත කිරීමේ හැකියාව ඇත .මධ්‍යම පරිසර අධිකාරිය ද මේ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත ,.කසළ ප්‍රතිචක්‍රීකරණය කර්මාන්තයක් ලෙස සිදුකළහැකි බවත් ,ඒවායින් මුදල් ඉපයීම පවා සිදුකල හැකි බව සමස්ත ලංකා පොලිතින් නිෂ්පාදකයන්ගේ හා ප්‍රතිචක්‍රීකරණය කරන්නන්ගේ සංගමය ප්‍රකාශ කර තිබේ .එහෙත් මේ පිලිබඳ රජය මෙන්ම ජනතාවද එතරම් සැලකිල්ලක් නොදක්වන නිසා කැලිකසල ගැටලුව මේ තරම් උග්‍ර වී ඇති බව ඔවුන් පෙන්වා දෙයි .නිසි ලෙස සැලසුමකට අනුව කසල බැහැර කරන්නේනම් ඒවා ප්‍රතිචක්‍රීකරණයකිරීම අපහසු නොවන අතර කැලිකසල නිසා ඇතිවන රෝගී තත්වයන්ද බොහෝ ලෙස අවම කරගත හැකිය .
                                මේ වන විට පවතින ප්‍රධානම සෞඛ්‍ය ගැටලුව වන්නේ ඩෙංගු උවදුරයි .ඩෙංගු රෝගය පාලනය කිරීම සඳහා මේවන විට විවිධාකාර වැඩසටහන් ක්‍රියාත්මක වේ.ජනමාධ්‍ය මගින්ද ,දේශපාලනික වශයෙන්ද ,නීතිමය වශයෙන්ද ඩෙංගු තුරන් කිරීම සඳහා පියවර ගනිමින් සිටින යුගයක අප අද ජිවත් වන්නෙමු .මෙසේ කොතෙක් ක්‍රියාමාර්ග ගෙන තිබුනද ඩෙංගු මර්දනය සාර්ථක වී ඇති බවක් නොපෙනේ .ඩෙංගු රෝගය නිසා මියයන සංඛ්‍යාව දිනෙන් දින ඉහලයමින් පවතී .ඩෙංගු මර්දනය සාර්ථක කිරීම උදෙසා අප සිදුකල යුත්තේ කුමක්ද ?එය රජයට පමණක් සිදුකල හැකි දෙයක්ද ?යන්න ප්‍රශ්නාර්ථයකි.එහෙත් මෙයින් අප කෙසේ හෝ මිදිය යුතුය .මෙය සාර්ථක කරගනිමටනම් පුද්ගලයන් වශයෙන් වෙන වෙනම ඒ පිලිබඳ පුළුල් අවධානයක් යොමු කල යුතුය.ජලය එකරැස් වන ස්ථාන විනාශ කිරීම උදෙසා සිය කාර්යබහුල ජිවිතයෙන් සතියකට වරක් දෙවරක් එසේ නැතිනම් පැය කිහිපයක් වෙන් කිරීමට වගබලා ගත යුතුය.එය සාර්ථක පියවරක් ලෙස දිගින් දිගටම ක්‍රියාත්මක කල හැකිය .එමෙන්ම ගම්මට්ටමින් ,ප්‍රාදේශීය මට්ටමින් මේ පිළිබද දැනුවත් කිරීම පමණක් ප්‍රමාණවත් නොවේ .ඔවුන් ඒ සදහා යොමුකරවාගැනීමට කටයුතු කල යුතුය .කුඩා දරුවන්ට මේ සම්බන්ධයෙන් වැඩි අවබෝධයක් ලබා දිය යුතුය .නිවෙස් ආශ්‍රිතව ඩෙංගු මර්දනය සිදුකිරිමේදී පවුලේ සියලුදෙනාම දායක කර ගැනීම වැදගත්ය .එමගින් අමුතුවෙන් මානව සම්පතක් ඒ සඳහා යෙදවීම අවශ්‍ය නොවේ. එමෙන්ම පාසල් ,විශ්වවිද්‍යාල මට්ටමින්ද මේ වැඩසටහන් ප්‍රයෝගිකව ක්‍රියාත්මක කල යුතුය .රජයක් වශයෙන් සෞඛ්‍ය අංශයට මේ සදහා විශාල වගකීමක් ඇත .රජය මේ සදහා සුදුසුකම් හා අත්දැකීම් සහිත මානව සම්පතක් මෙන්ම විධිමත් භතික සම්පතක් සම්පාදනය කල යුතුය. එමෙන්ම  .ජනතාව දැනුවත් කිරීම නොකඩවා සිදුකල යුතුය .රජය හා ජනතාව එක්ව ක්‍රියාකළහොත් මෙම ඩෙංගු රෝගය මර්දනය කිරීම එතරම් විශාල අභියෝගයක් නොවනු ඇත .

                                      එලෙසම මීලග සෞඛ්‍ය අභියෝගය ලෙස අනෙකුත් රෝග වල වැඩිවීම දැකගත හැකිය .මෙසේ නොයෙක් රෝග වැඩිවීම කෙරෙහි  පරිසරය අපිරිසිදු වීමයි .එසේනම් එම රෝග වලක්වාලීම සදහා පරිසරය පිරිසිදු කල යුතුය .නාගරික ප්‍රදේශවල ඉඩකඩ අවම වුවද කසල වර්ගීකරණය සිදු කොට පුළුස්සා හෝ වෙනයම් ක්‍රමයකින් ඒවා විනාශ කල යුතුය.එමෙන්ම විධිමත් ලෙස කානු පද්ධතිය හා ජලාපවහන ,මලපවාහන පද්ධතිය සැකසිය යුතුය .එමගින් පාචනය ,උණ,කැස්ස ,සෙම්රෝග ආදිය අවම කර ගැනීමේ හැකියාව පවතියි .මෙහිදී මෙම ක්‍රියාමාර්ගය දිගින් දිගටම ක්‍රියාත්මක කිරිමට අප වග බලා ගත යුතුය .එලෙසම ආහාර දුෂණය පිළිබද ගැටළු වලදී නැවුම් එලවළු හා පලතුරු නිවසේම වගාකිරීම තුලින් එම ගැටලුව ජයගැනීමේ හැකියාව ඇත .අවම ඉඩකඩක වුවද සුළුවෙන් හෝ බෝග වැවීමෙන් වස විසෙන් තොර ආහාර පරිභෝජනයට ගත හැකිය .එමගින් නිරෝගී ජීවිතයකට මග පෑදේ.පානිය ජලය පිලිබඳ ගැටලුවලදී ජල පිරිපහදුව පිලිබඳ වැඩි අවධානයක් යොමු කල යුතුය .එමෙන්ම ජල නළ විධිමත්ව සැකසීම මගින් මෙන්ම පිරිසිදු ජලය හා උණුකර නිවාගත් ජලය පානය කිරීමට ජනතාව යොමු කිරීමෙන් මෙයට විසදුම් ලැබේ .එමෙන්ම වායු දුෂණය අවම කිරීමෙන් හා වාහනවල දුම් සහතික ලබාගැනීමේ ක්‍රමවේද විධිමත් කිරීමෙන් ශ්වසන රෝග වලක්වා ගත හැකිය .
                         සෞඛ්‍ය අභියෝග අතර  ඖෂධ පිළිබඳව තිබෙන යම් යම් ගැටලුකාරී තත්වයන්ද ප්‍රධාන වේ .ඒ අනුව ඖෂධ සඳහා විධිමත් ප්‍රතිපත්තියක් පළමුවෙන්ම සැකසිය යුතුය .රජය එයට මැදිහත්වී ක්‍රියාකළ යුතුය .එලෙසම රෝග නිර්ණය සම්බන්ධයෙන්ද වද්‍යයවරුන්ට වගකීම් සහගතව කටයුතු කිරීමට අවශ්‍ය විධිවිධාන සැකසිය යුතුය .එමෙන්ම රෝගින්ටද ඖෂධ ලබාගැනීමේදී එම ඖෂධයේ තත්වය සොයා බලා මිලදීගන්නා ලෙස දැනුවත් කල යුතුය .එමෙන්ම ඖෂධ බෙදාහැරීමේදී මෙන්ම අලෙවිකිරිමේදීද විධිමත් සැලැස්මක් ක්‍රියාත්මක කිරීම මෙහිදී වැදගත් වේ .
ප්‍රමිතියෙන් බාල ඖෂධ ආනයනය කිරීමට ඉඩ ලබා නොදිය යුතුය .රටේ සෞඛ්‍ය අංශය මේ සදහා ප්‍රමුඛත්වය ගෙන ක්‍රියාකළ යුතුය .ඒ අයුරින් ඖෂධ පිළිබද ගැටලුවට විසදුම් ක්‍රියාත්මක කල යුතුය .

                                                       වර්තමානයේ ශ්‍රී ලංකාවේ පවතින සෞඛ්‍ය අභියෝග ජයගැනීම උදෙසාඉහතින් සදහන් කල ක්‍රියාමාර්ග ජාතික මට්ටමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පවතයි .මෙකි ක්‍රියාමාර්ග උදෙසා සෑම පුද්ගලයෙකුගේම පුර්ණ අවධානය යොමුකිරිම තුලින් වර්තමානයේ පවතින සෞඛ්‍ය අභියෝග ජයගැනීමේ හැකියාව පවතයි .එහිලා අප සියලුදෙනාම ඇප කැප වී ක්‍රියාකළ යුතු  අතර එය යුතුකමක් නොව වගකීමක් බව සිතිය යුතුය 

විමලරත්න කුමාරගම


විමලරත්න කුමාරගම







1919 වර්ෂයේ ජනවාරි මස 18 වනදා කන්ද උඩරට පාතදුම්බර නාරම්පනාව ග්‍රාමයේදී පුංචි බණ්ඩාර කුමාරගම මහතාට සහ K.H. බණ්ඩාර මැණිකේ යන දෙමාපියන්ට දාව විමලරත්න කුමාරගමයන් උපත ලැබීය.    මහනුවර මොඩොල්කැටියේ වෙරලුපිටිය විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා ද්විතීය අධ්‍යාපනය සඳහා මහනුවර ධර්මරාජ විද්‍යාලයට ඇතුළත් විය . 23 වැනි වියේදී අනුරාධපුර කච්චේරියේ ලිපිකරුවකු ලෙස සේවයට එක් විය. 1944 වර්ෂයේදී ප්‍රාදේශීය ආදායම් පාලක වරයෙකු ලෙස දෙමළ හත්පත්තුවේ සේවයට බැදේ. ගැමි ජන ජීවිතයේ අව්‍යාජ හරය සිය නිර්මාණ විෂයෙහි අනුභූතිය කොටගන්නා කුමාරගමයන් අහිංසක ගැමියන් ගේ ජීවිත තුළ නිරන්තරයෙන් පවතින සතුට, ශෝකය, මිනිස්කම, ඇදහිලි සහ මානව ගුණාංගයන් කවියෙන් ලෝකයාට කියා පාන්නට විය. වන්නියේ මිනිසුන්ගේ ජීවිතයේ යථාර්ථය මෙන්ම ඔවුන් විඳින; විඳවන අනේක සමාජ කම්කටොලු පිළිබඳව අනුකම්පාවෙන් සහ දයාබරිතව නිර්මාණ තුළින් ප්‍රකාශ කිරීමට කුමාරගමයන් ගත් උත්සාහය අතිශය ප්‍රශංසනීය වේ .

කොළඹ යුගයේ දෙවන පරපුරේ කවියකු ලෙස විමලරත්න කුමාරගමයන් නිර්මාණශීලී අර්ථවත් කාව්‍ය නිර්මාණ රාශියක් පබදු අග්‍රාගනය නිර්මාණකරුවෙකු වේ. මානව සංවේදීතා ඇසුරෙන් බිහි වූ මෙම නිර්මාණ අතර හපුමලී, ආරච්චිරාළ, වලස්දඩයම, සිරගෙය, අවුරුදු නිවාඩුව, ආගන්තුක සත්කාරය, අයියනායක, හේරත්හාමි වැනි නිර්මාණයන් පෘථුල  නිර්මාණයන් ලෙසට සැලකිය හැකිය. විමලරත්න කුමාරගමයන් සමාජ අසාධාරණකම් ඉතා සියුම් භාෂාවකින් ප්‍රබලව කවියට නැගීමට සමත් වීම සුවිශේෂී නිර්මාණශීලී ලක්ෂණයක් ලෙස කැපී පෙනෙයි. එය හොඳින්ම පෙන්නුම් කරන නිර්මාණයන් ලෙස හපුමලී සහ ආරච්චිරාළ පද්‍ය නිර්මාණයන් හැඳින්විය හැකිය. 1946 දී රචනා කරන ලද හපුමලී පද්‍ය පන්තිය හපුමලී නම් ගැමි දැරියක් දූෂණය වීමේ සිදුවීම පදනම් කර ගෙන රචනා කරන ලද්දකි. සමාජයේ කම්පා කරවන අපරාධ පිළිබඳව දැඩි සංවේගයකින් බලන විමලරත්න කුමාරගමයන් සමාජ අසාධාරණය සහෘර්දයාට නව මානයකින් දැක්වීමට අවස්ථාව උදා කරන අතරම අසරණ මිනිස්සුන්ගේ අනුවේදනීය ස්වභාවයන් කෙරෙහි සහෘදයාගේ සිත්සතන්හි අනුකම්පාව ජනිත කිරීමට කටයුතු කරන අයුරු දැකගත හැකිය. හපුමලී පද්‍ය පන්තියේ දී,

හඬ හඬා වැළපී වැලපී ගෙහිමි                            ළග
ඈ කිවූ නමුත් ගම බැලුමට නොහැකි                  වග
නොතකා ඇයගෙ අසරණ දුක් හුසුම                   දීග
ඒ කුහකයා  පෙන්වීය ගේ අසල                         මග




දෙනයන කදුළු පිසිමින් අවු පිණි             වැස්සේ
දානපති කුහකයන්ගේ මන්දිර                ඔස්සේ
ගෙනයන ඔඩෙ සිට මුළු දහවල              ඔස්සේ
මොන ඉරණමද මේ දරුවන් පසු            පස්සේ

හපුමලී  පද්‍ය පන්තිය ආරම්භ වන්නේ ස්ත්‍රිය වර්ණනාවකිනි. අහිංසක ගැමි කාන්තාවක ගේ ස්වභාවය කවියෙන් ඉතාම රමණිය ලෙස නිරූපණය කරන අතර ඇය ධනපතියකුගේ අතකොළුවක් බවට පත් වු පසුව ඇගේ ඉරණම පිළිබඳව සමාජයේ විවේචනාත්මක ප්‍රශ්නාර්ථයක් කුමාරගමයන් මතු කරන ආකාරය දැකිය හැකිය. අහිංසක ගැමියන්ගෙන්ගේ නිර්ව්‍යාජ ස්වාභාවය අනුභූතිය  කොටගෙන කුමාරගමයන් නිර්මාණය කළ පද්‍ය පන්තින් අතර හේරත්හාමී පද්‍ය පන්තිය ඉතා වැදගත් වේ . හේරත්හාමි නම් ගැමියකු පිළිබඳව හා ඔහුගේ යථාර්ථවාදී මානව ගුණාංගයන් පිළිබඳව සරළ බස් වහරකින්, නමුදු ගැඹුරු අර්ථයක් සම්පාදනය කිරීම සඳහා නිර්මාණශීලීව සිය කවීත්වය භාවිතා කළ අයුරු දැකගත හැකිය.

අවනත සිනා රැලි වත නිතරම                පතුරයි
හැම වදනකම අවිහිංසක කම                 පතුරයි
හැමදා වගේ හවසට බොන ගිනි             වතුරයි
ඔහුගේ පපුව දැඩි කරුණාවෙන්              උතුරයි

නැගණිය මළ විටදි දොස්තර සමඟ                     ගොසින්
ඇගෙ ඇගෙ කය කපන ලදි හේරත් හාමි             විසින්
බැන්නත් ඔහුට මේ ගැන ගම නරක                   බසින්
ඔහු හට වැඩක් නැත ලොව ඇති රිහිරි                 මසින්

එමෙන්ම ගැමියන්ගේ පවතින ඇතැම් දුර්වල මානව ගුණාංගයන් දුර්ගුණ පවා විවේචනයට ලක් කිරිමට කුමාරගම කවියා සමත් වී ඇති ආකාරය දැකිය හැකි ය. ආරච්චිරාළ පද්‍ය පන්තිය එයට කදිම නිදසුනකි. ධනවත්කම හා බලවත්කම හේතුවෙන් පවතින ඇතැම් අසාධාරණයන් ගැමියන් ඉවසා සිටින අයුරු හා එම බලවතුන් ගේ දුර්ගුණයන් ගැමියන් ගේ ජීවිත කෙරෙහි බලපා ඇති ආකාරය ඉතා සංවේදීව නිරූපණය කිරීමට කුමාරගමයන් උත්සාහ කර ඇති බව දැකිය හැකි ය.

අලියා වැටුණු වැව ආරච්චි                     රාළට
මුව මස් ඌරු මස් හිඟ නොමැත             කෑමට
මුළු ගංගොඩ ම හිටියත් ඔහුගෙ              වාලට
ඔහු වැඩිපුරම බය ලොකු සයිබු              නානට

පස් බානක් ම ඔහු හට හොර හරක්         ඇත
ගමනට පැදුර දැමූ බර බාගයක්               ඇත
නියගයක් ආවත් ඉන් වැඩිපුර බයක්       නැත
වැව කිට්ටුව වෙල ඉස්සර හයක්             ඇත

මුළු රෑ ළගි හිඳ පලු ගහක                       මැස්සක
ලැබගෙන අහිංසකයෙකු පිදුව මස්          ටික
වළඳා අදට වුවත් වසර                           විස්සක
පුදුමයි බලන්නට අද ඔහුගෙ රැස්            ටික

මානව දයාව පමණක් නොව සතුන් කෙරෙහි ද දැක් වූ අචල අනුකම්පක කවිත්වය කුමාරගමයන්ගේ පද්‍ය රචනා තුලින් ඉතාම හොඳින් පැහැදිලි කරගත හැකිය. මානවයාට පමණක් නොව සතා සිවුපාවාට පවා හැඟීම්, දැනීම්, සංවේදනා ඇතිවන බව මෙන්ම විවිධ විපත්, දුක්පීඩා වලට මුහුණදීමේ දී මිනිසාට මෙන්ම සතුන් ද අසරණ වන ආකාරය කුමාරගමයන් සිය නිර්මාණ වලට බෙහෙවින් වස්තු විෂය කොට ගත් බවක් පෙනේ . වලස් දඩයම පද්‍ය පන්තිය එයට හොඳම  උදාහරණයකි. දඩයක්කාරයෙකුගේ වෙඩි වැදීමට ලක්වන වලස් දෙනක්  සිය දරුවන් කෙරෙහි දක්වන අධික මව් සෙනෙහස අතිශය භාවාත්මක ස්වරූපයකින් විවරණය කිරීමට කුමාරගම කවියා   සමත් වූ ආකාරය දැකගත හැකි ය. ඇගේ වේදනාව හා ශෝකය අපූර්වත්වයෙන් යුතුව ස්වාභාව දහමේ  සංසිද්ධිය හා මුසුකරන්නට කුමාරගමයන් ගත් උත්සාහය අතිශය සාර්ථක වී ඇති බව සදහන් කළ යුතුය .

හදිස්සියේ දුටිමි කළුවක් වැව වෙත         ඇදෙන
වැලහින්නක්ය ඇය පසුපස දරු              දෙදෙන
යන්තම් ඇසුනි හඬ පැටවුන් දිය             අදින
කැටවල තුලින් එකෙණෙහි වෙඩි හඬ     නැගිණ

හෙමිහිට ඇදී යන තුරු දුරටම                 බැද්දේ
හදවත පෙලී පැටවුන් වැලපෙන             සද්දේ
සංවේගයෙන් මා සිටි මැස්ස ද                පැද්දේ
වැලපේ කිරල රැළ උඩ පැන වැව           මැද්දේ

ඉතා ශෝචනීය අවස්ථාවක් වුවද එය කවියට නැගීමේදී අතිශයින් උචිත පද සංගටනාවක් කිරීමට කුමාරගමයන්ගේ කවිත්වයහි ඇති  විශේෂත්වය ලෙස පෙන්වා දිය හැකිය . සිදුවීමට කිසිදු හානියක් නොකර නිර්මාණශීලීව හා සංකේත ආදී කාව්යෝපක්‍රම සුදුසු තැන්හි යොදාගනිමින් සිය කවීත්වය මෙහෙයවන ආකාරය ඉතා හොඳින් දැක ගත හැකිය . එමෙන්ම ඒ තුළින් පාඨකයා තුළ සහකම්පනයක් ඇති කිරීමට සමත් වූ බව සඳහන් කළ හැකිය .එලෙසම විමලරත්න කුමාරගමයන් තමන්ටම අනන්‍ය වූ නිර්මාණ ශෛලියක් අනුගමනය කරන ලද කවියකි .ඔහුගේ පද්‍ය වල බස්වහර ඕනෑම කෙනෙකුට තේරුම් ගත හැකි සරළ භාෂාවක් වන අතර එයින් ගැඹුරු අර්ථයක් සම්පාදනය කිරීමට ඔහුගේ අත්දැකීම් සෑම විටම මානව ගුණාංග හා මානව සමාජයේ ස්වභාවයන් පිළිබඳ ව වන අතර කවි බස චමත්කාරජනක අයුරින් හැසිරවීමට සෑමවිටම විමලරත්න කුමාරගමයන් උත්සාහ කළ බව පෙනේ. විමලරත්න කුමාරගමයන් කාව්‍ය අලංකරණ වලට එතරම් අවධානයක් යොමු නොකළේ ය. නමුත් ඔහුගේ කවියෙහි ඇති රසවත් භාවය මඳක් හෝ අඩු නොකොට සහෘදයා රසගැන්වීමට සමත් කාව්‍ය ශක්තියක් හිමි කරගෙන තිබේ. සමාජ ගවේෂණය උදෙසා කවියෙන් සහෘදයා පොළඹවා ගැනීමේ හා සමාජයේ හා පුද්ගලයාගේ යථාර්ථවාදී නිර්මිතයක් මේ සියල්ල එකට කැටි කොට ගන්නා ස්වභාවයක් කුමාරගමයන් ගේ සෑම පද්‍ය පන්තියකම දැකගත හැකි සුවිශේෂී ලක්ෂණයකි. එහෙයින් සමස්තයක් ලෙස විමලරත්න කුමාරගමයන්ගේ පොදු නිර්මාණ භාවිතය පිළිබඳව අවධානය යොමු කිරීමේ දී පෙනෙන ප්‍රධානම කාරණය වන්නේ මානව දයාවෙන් මානව භක්තියෙන් යුතු සංයමයකින් සමාජය විවේචනය කිරීමේ ස්වභාවයයි. ශුර කවියෙකු ලෙස සිය නිර්මාණ තුළින් සහෘදයා  ආනන්දයෙන් ප්‍රඥාව කරා ගෙන යාමට සවිමත් අඩිතාලමක් යෙදු අග්‍රගණ්‍ය කවියෙකු ලෙස විමලරත්න කුමාරගමයන් හැඳින්විය හැකිය .





සාම්ප්‍රදායික මුරගලේ විකාශනය


සාම්ප්‍රදායික මුරගලේ විකාශනය 







                              

                                                  

             මානව සංහතියේ ආරම්භයේ පටන්ම කලාශිල්ප වල ආරම්භය සනිටුහන් වී තිබේ.ඉපැරණි ලෝකයේ දියුණු ශිෂ්ටාචාර වූ ඉන්දු නිම්න, යුප්‍රටීස්-ටයිග්‍රීස්, හොවැංහෝ, නයිල් නිම්න ආදී ශිෂ්ටාචාරවලද මෙකි කලාශිල්ප පැවති බවට සාධක හමුවේ.ආදී මානවයා සිය සරල ජිවන රටාව ගතකරන විට පහළවන සියුම් සංයමයෙන් යුතු සිතුවිලිවලින් මැවෙන අග්‍රගණයය කලානිර්මාණ විශිෂ්ට කලාත්මක වටිනාකම් විදහා දක්වයි.  ලෝකයේ විවිධ සම්ප්‍රදායන් වල කලාශිල්ප අතරින් බෞද්ධ කලාශිල්පයන්ට හිමිවන්නේ සුවිශේෂි ස්ථානයකි.බුදුදහම ආභාසය කොටගෙන සිය කලා හැකියාවන්වලින් ඉතා සියුම් ලෙස කලා නිර්මාණ බිහි කිරීමට කලාශිල්පියා සුවිශේෂී දක්ෂතාවයක් දක්වා තිබෙන බව පැහැදිලිය .කෙසේවෙතත් බෞද්ධ කලාශිල්පයන්හි ආරම්හය පිළිබඳව සොයාබැලීමේදී භාරත දේශය වැදගත් වේ.එයට හේතුව වන්නේ බෞද්ධ කලාශිල්ප වල සමාරම්භය සනිටුහන් වී ඇත්තේ ඉන්දියාවෙහි විමයි . .ක්‍රි.ව.1 ශතවර්ෂයෙන් පසුව ඉන්දියාවේ රාජ්‍යත්වයට පත් වූ කුෂාණ වංශික කණිෂ්ක අධිරාජයාගේ සමයේ බුදුදහමෙහි ඇති වූ සුවිශේෂී ප්‍රබෝධයත් සමග කලාශිල්පද ආරම්භ වන්නට විය .නමුදු බුද්ධ කාලයේත් කලානිර්මාණ  පවතී බව  ඇතැම් සූත්‍ර දේශනාවල සඳහන් වේ.මහායාන බුදුදහම උදෙසා කනිෂ්ක රජු දැක්වූ  අනුග්‍රහය හේතුකොටගෙන බෞද්ධ කලාශිල්පයක් ලෙස ප්‍රථමයෙන්ම “බුදු පිළිමය”නිර්මාණය වන්නට විය.එය තවත් දියුණුවට පත් වී ප්‍රතිමා ගෘහ ,කැටයම් ආදියද නිර්මාණය විය.පසුකාලීනව විවිධ සම්ප්‍රදායන් තුළ බුද්ධ ප්‍රතිමාව විකාශන ය වූ අතර ඉන්පසු තවත් කලාශිල්ප බිහිවන්නට විය.මේ අයුරින් භාරතයේ ප්‍රභවය වූ  බෞද්ධ කලාශිල්ප පසුකාලීනව ශ්‍රී ලංකාවට පැමිණෙන්නට විය.
                                 මහින්දාගමනයත් සමග බුදුදහමින් සුපෝෂිත වූ හෙළ කලාකරුවා සිය විවේකයට අරුතක් ලබගැනීමට මෙන්ම ධාර්මික ප්‍රීති සුවය හා රසවින්දනය උදෙසා විවිධ නිර්මාණයන් සිදුකරන්නට විය.එම කලානිර්මාන ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදේ.ආගමික හා ආගමික නොවන ගොඩනැගිලි එම ප්‍රභේදයන්ය .එයින්ද ආගමික ගොඩනැගිලි විෂයෙහි ගොඩනැගිලි උපාංග වැදගත් වේ. සදකඩ පහණ,කොරවක්ගල ආදිය එහිලා උදාහරණ වශයෙන් දැක්විය හැකිය .  එම කලාශිල්ප අතර “මුරගල” නමැති කලා නිර්මාණය වැදගත් වේ.මුරගලේ සම්ප්‍රදායික විකාශනය පිළිබද කරුණු සොයාබැලීමේදී දකගත හැක්කේ  මුල්කාලයේ මෙය පියගැට පෙළෙහි ආරක්ෂාවට භාවිතා කළ උපක්‍රමයක් ලෙසිනි .අතීතයේ ආගමික ගොඩනැගිලිවලට පිවිසෙන ස්ථානයේ සදකඩ පහණ හා කොරවක්ගල් දක්නට ලැබුණි. එහිදී පියගැටපෙළෙහි සහ කොරවක්ගල් වලට ආධාරකයක් ලෙස මෙය භාවිතා කර ඇත .විශේෂයෙන්ම කොරවක්ගලේ ලිස්සායම හා තෙරපීම වලකාලීමේ කූඤ්ඤයක් වශයෙන් යොදාගෙන ඇත.ලි වලින්,මැටිවලින්,මෙය සකස්කල ද දිරයෑමේ හා කල්පැවැත්මේ ගැටළු නිසා පසුකාලීනව මෙය ගල්පුවරුවක් බවට පත් වී ඇත.පඩිපෙළට කූඤ්ඤයක් ලෙස යොදාගත් මුල්කාලීන ගල්පුවරු පමණක් වන මුරගල් දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් සොයාගත හැකිය.ඒ අතර තිරියාය ප්‍රදේශයේ ගල්වැටියක අන්තිම ගල ලිස්සායාම  වලකාලීමට යෙදූ කූඤ්ඤයක,රාජාංගණය වටදාගෙය,අනුරාධපුරයේ වෙස්සගිරිය එයට නිදසුන් සපයයි.
                                සාම්ප්‍රදායික මුරගලේ විකාශනය අධ්‍යනය කිරීමේදී සාහිත්‍යමය සහ පුරාවිද්‍යාත්මක මුලාශ්‍ර ය අතිශය වැදගත් වේ.සාහිත්‍යමය මුලාශ්‍රවල මේ පිළිබඳව මුරගල යන නමින්ම සඳහනක් නොවුනද “සම්මෝහවිනෝදනී”නම් අටුවා ග්‍රන්ථයේ දොරටුපාල රුවක් පිළිබඳව පහත ලෙස සටහනක් ඇත.
“එකාදහං භික්ඛුනී  චිතතල පබ්බත විහාරෙ උපෝසථාගාරං ගනතවා;චාරපාලකරූපං ඔලොකය මනාඨිතා”
( එක් ළදරු භික්ෂුණියක් තොමෝ සිතුල්පව්වෙහෙර පෝයගෙට යන්නේ දොරටුපාලරුවක් දෙස  බලමින් සිටියාය.)  (ගොඩකුඹුර, 1982, පි. 1-9)
මෙම විස්තරයේ  දැක්වෙන දොරටුපාල රුව මුරගලක් නොවන්නට පිළිවන.ඇතැම් විට ලෑල්ලක හෝ ගලක ඇදි රූපයක් විය හැකිය .එසේත් නැතිනම් විහාරයට පිවිසෙන දොර දෙපස මැටියෙන් තැනු රූප විය හැකිය.එසේ වුවත් මෙහි මුරගල සම්බන්ධයෙන් කිසියම් අදහසක් ඇතුලත් වූ බව නම් නිසැකය.විශේෂයෙන්ම මුරගල සම්බන්ධයෙන් ගවේෂණය කිරීමේදී පුරාවිද්‍යාත්මක මුලාශ්‍රය විශේෂ කාර්යභාරයක් ඉටු කරයි.සාහිත්‍ය මුලාශ්‍රයවල සදහන් වන කරුණු තහවුරු කිරීම පුරාවිද්‍යාත්මක මුලාශ්‍රය මගින් සිදුකරයි.එහෙත් මෙහිදී සාහිත්‍ය මුලාශ්‍ර ප්‍රමාණවත් අන්දමින් සොයාගත නොහැක.එසේ වුවත් මුරගල පිලිබදව පුරාවිද්‍යාත්මක මුලාශ්‍ර හිග නොවේ.
මුරගලේ විකාශනය පිළිබද කරුණු විග්‍රහ කරන විට එය යුග කිහිපයක් ඔස්සේ සාකච්ඡා කල හැකිය..එම විකාශන අවස්ථා පිළිවෙළින් මෙසේය.
Ø  පුන්කළස සහිත මුරගල
Ø  බහිරව/වාමන රුප සහිත මුරගල
Ø  නාගරූපය  සහිත මුරගල
Ø  මුරකරුවා සහිත මුරගල
                                              මුරගලේ ආරම්භක අවස්ථාව ලෙස දැක්විය හැක්කේ පුන්කළස  සහිත මුරගලයි.එසේ වුවත් මුරගලේ හැඩය නිර්මාණය වූ ආකාරය පිළිබඳව සොයාබැලීම වැදගත්ය.මුලින් සදහන් කල පරිදි මුල්කාලයේ මෙය ගල්පතුරකට සිමා වූ දෙයකි.එහෙත් කල්යත්ම එය යම්කිසි හැඩයකින් නිර්මාණය කිරීමට අතීතයේ කලාකරුවා උත්සහාගෙන ඇති බව පෙනේ. ප්‍රථමයෙන්ම ගලෙහි උඩ කොටස  අර්ධ කවාකාර ලෙස සකස්කරයි .දෙවනුව ගලේ උඩුකවය මුදුනෙන් උල්ව සිටින ලෙස කපා මුරගල නිමකර ඇත .එය පුරාවිද්‍යාඥ හදුවන්වනු ලබන්නේ “යටිකුරු පළිහ “ යනුවෙනි.මෙලෙස නිමවන ලද මුරගල් ලංකාවේ බුත්තල ,ගල්බුදුතැන්න යන ස්ථානවලින් සොයාගත හැකිය.කෙසේවෙතත් මුරගලේ කැටයම් නිරමාණවල ප්‍රථම අවස්ථාව පුන්කළසයි. මුරගල තුල පුන්කලස කැටයම් කිරීමෙන් පැරැන්නන් බලාපොරොත්තු වූයේ කුමක්දැයි වටහා ගැනීම වැදගත්ය.පුන්කලස සාමාන්‍යයෙන් සංකේතයක් ලෙස භාවිතා කරයි.සිංහල සංස්කෘතිය තුල පුන්කලස සෞභාග්‍යයේ සංකේතය ලෙස හදුන්වයි.අතීතයේ ලක්දිව නිවෙස්වලට ඇතුළුවන ප්‍රධාන දොරටුව අබියස පුන්කලසක් තැබීම සිරිතක්ව පැවතුනි. මුරගලට පුන්කලස එක්වීමට මෙයද හේතුවක් වන්නට ඇත.එමෙන්ම සන්නිවේදන කාර්යක් මුරගල මගින් ඉටුවන ප්‍රථම අවස්ථාව ලෙස මෙය සැලකිය හැකිය.ආගමික ගොඩනැගිල්ලකට පිවිසෙන ස්ථානයේ පුන්කළසක රූපයක් තැබීම සුබ ලකුණක් ලෙස පිළිගනී.ඉතා සියුම් මටසිලුටු අයුරින් සෑම රේඛාවක්ම  කැටයම් කර තිබීමද විශේෂත්වයකි.එමෙන්ම පුන්කලස සහිත මුරගලේ කිසිදු සත්ත්ව රූපයක් හෝ වෙනත් යමක් දැකගත නොහැකිය.එහි අදහස නම් මෙය ඉතා පාරිශුද්ධ ස්ථානයක් බවත්, පුන්කලස සශ්‍රීකත්වය සංකේතවත් කරන බවත්ය. පුන්කලස සහිත මෙවැනි මුරගල් අනුරාධපුර තොලුවිල ,වෙල්ගම් වෙහෙර ,මිහින්තලේ කළුදිය පොකුණ යන ස්ථානවලින් සොයාගෙන ඇත.මෙහිදී මේවායින් වැඩි කොටසක් අනුරාධපුර යුගයේ වීම කැපිපෙනෙන ලක්ෂණයකි.එමෙන්ම මෙම මුරගල් ඉතා පැරණිය.මුරගල විකාශනයේ ප්‍රථම අවස්ථාව ලෙස දැක්විය හැකිය.
                                              මුරගල විකාශනයේ දෙවන අවස්ථාව බහිරව/වාමනරූප සහිත මුරගලයි.මෙම බහිරව හා වාමන රූප සම්බන්ධයෙන් විවිධ පුරාවෘත්ත පවතියි.භාරතයේ විසු මාහා කවි කාලිදාසයන්ගේ විශිෂ්ටතම සාහිත්‍ය නිර්මාණයක් වූ මේඝදුතයේ කුවේර නම් යක්ෂයාගේ නිවස වර්ණනාවට ලක්කිරීමේදී ,එකී ගෘහයේ ප්‍රධාන දොරටුව දෙපස සංඛ හා පද්ම යන යක්ෂයින් දෙදෙනාගේ රූප ස්ථානගත කර තිබු බව සදහන් වේ.මෙයින් පැහැදිලිවන්නේ ආරක්ෂාව උදෙසා මෙම යක්ෂයින් දෙපල වැදගත් වූ බවයි. ලංකාව හා ඉන්දියාව අතර සබැඳියාව ඈත අතීතයේ පටන්ම පැවතුණි.ඒ නිසාවෙන් කලානිර්මාණ උදෙසාද ඉන්දියානු අභාසය නිරායාසයෙන් ලැබී ඇත.මුරගලට මෙම බහිරව රුප ඇතුලත් කර ඇත්තේ මෙම අභාෂයන් නිසාවෙනි. කෙසේවෙතත් විහාරයකට ඇතුළුවන ස්ථානයේ පියගැටපෙළ දෙපස මෙම යක්ෂ රුප තැබීමේ අරමුණ ආරක්ෂාව හා ගෞරව සම්ප්‍රයුක්ත බිය ඇති කිරීම විය හැකිය.කිසිවෙකුට කිසිදු හානියක් සිදුකිරීමට නොහැකිය යන්න මෙයින් සන්නිවේදනය කරන අදහසයි.මෙවැනි මුරගල් ලංකාවේ විවිධ ස්ථානවලින් හමුවේ.පැරණිම සංඛ හා පද්ම රූප සහිත මුරගල් දැකිය හැක්කේ තොලුවිල ප්‍රදේශයෙනි.තවද අනුරාධපුරයේ ථූපාරාමය සමීපයෙහි මෙවැනි මුරගල් හමුවී තිබේ.එහෙත් එම මුරගල්වල පසෙකින් සත්ත්ව රූප ඇතුලත් වේ.මුරගලේ ආරම්භක අවස්ථාවේ සත්ත්ව රූප ඇතුලත් නොකලද බහිරව රූප සමග සත්ව රූප ඇතුලත් කල හේතුව පිළිබඳව නිශ්චිත නිගමනයක් නොමැත.එමෙන්ම අභයගිරිහිද විශාල බහිරව රූප සහිත මුරගල් දක්නට ලැබේ .එහෙත් ඒවායේද සත්ව රූප ඇතුලත්ව නොමැත.ථූපාරාමයේ මුරගල්වල සත්ව රූප තිබීමටත්,අභයගිරියේ මුරගල්වල සත්ව රූප නොතිබිමටත් කරුණු මෙතෙක් අනාවරණය කර නොමැත.එමෙන්ම මිහින්තලය රජගිරිලෙන කන්ද ආශ්‍රීතව බහිරව රූප සහිත මුරගල් ඉතා දියුණු මට්ටමෙන් නිර්මාණය කර ඇත .එහෙත් පසුකාලීනව බහිරව රූප සහිත මුරගල නාග රූපය සහිත මුරගල දක්වා පරිවර්තනය වී ඇත.බහිරව රුප සහිත මුරගල නාග රුපය දක්වා පරිවර්තනයවීමේදී බහිරව රුව හා සමාන නාගරුප සහිත මුරගල් විශේෂයෙන් වැදගත් වේ.මෙය ක්‍රම ක්‍රමයෙන් සිදුවී ඇති බව එයින් පැහදිලි වේ.ලංකාවේ දකුණු පළාතේ මගුල් මහා විහාර භූමියෙන් හමුවන මුරගල නාග රුව හා සමාන බහිරව රුවකින් සමන්විතය.තිස්සමහාරාම යටාලවෙහෙරද මෙවැනි මුරගල් හමුවූ තවත් ස්ථානයකි.නාගරුපය සහිත මුරගල පසුකාලීනව නිර්මාණය වුවද ඇතැම් මුරගල්වල ප්‍රමාණයෙන් කුඩා බහිරවරුප දැකගත හැකිය .එයින් අදහස් කරන්නේ බහිරව රුප පිලිබඳ මිනිසුන්ගේ තිබු විශ්වාසය ඉවත් නොවුණු බවයි.
                                            මුරගල විකාශනයේ තුන්වන අවධිය තුළ නාගරුව මුරගලට පැමිණ තිබේ.ඉතිහාසයේ පටන්ම “නාගයා”සමග අපේ ඇත්තන්ගේ සුවිශේෂී සබදතාවක් පැවතුණි.නාග ගෝත්‍රික ජනතාව පවා අතීතයේ මෙරට වාසය කල බව ඓතිහාසික මුලාශ්‍රවලින් පැහැදිලි වේ. කෙසේ නමුත් නාගයා කෙරෙහි අපේ පැරැන්නන් දක්වන ලද ආකල්පය නාගයා මුරගලට ඇතුලත්විමට හේතුවක් වී ඇති බව අපට වටහා ගත හැකිය.අතීතයේ නාගයා ආරක්ෂකයෙකු ලෙස සලකන ලදී. නිධන් ආරක්ෂා කිරීම හා ජලාශ ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් නාගයා ප්‍රධාන වී ඇත .නාග රූපය සහිත මුරගල් අනුරාධපුරය කුට්ටම් පොකුණ ආශ්‍රිතව හමු වී ඇත. එම මුරගල පිහිටුවීමේ අරමුණ වී ඇත්තේ ප්‍රභූපිරිස ප්‍රයෝජනයට ගන්නා මෙම පොකුණට කිසිදු හානියක් කිරීමට හෝ වස විස ආදිය එක්කිරීමට කිසිවෙකුට නොහැකි බවයි.මෙවැනි මුරගල් මෙකි ජලාශ ආශ්‍රිතව පිහිටුවීමෙන් මිනිසුන් තුල බියක් මෙන්ම මෙම ස්ථානය නාගයා උදෙසා කැප කර ඇත යන හැගීම දනවයි.නාගරුව සහිත මුරගල් පෙන පහ,පෙන හත වශයෙන් සොයාගෙන ඇත .මෙම වර්ගයේ ඉතා සුවිශේෂී මුරගලක් මැදිරිගිරියෙන් හමුවේ.එම මුරගල දෙපසෙහි නාගිනිරූප දෙකක් හා මධ්‍යයේ පෙන තුනක් ඇති හිසට ජත්‍රයක් ඇති මිනිස් වෙස් නොගත් නාගරුවක් සහිතව නිමකර ඇත.නාගරූප සහිත මුරගලේ දියුණුතම අවස්ථාවක් මෙමගින් නිරූපණය කෙරේ.
                                       සාම්ප්‍රදායික මුරගල විකාශනයේ සිව්වන අවධිය එහි දියුණුතම අවධිය වූ මුරකරුවා සහිත මුරගලයි.මුරගලේ ආරම්භක අවධියේ සිට සිව්වන අවධිය තෙක් අන්තර්ගත වූ සියලුම අංගවල එකතුවක් ලෙස මුරකරුව සහිත මුරගල හැදින්විය හැකිය.මෙම මුරගල සම්බන්ධයෙන් ප්‍රධාන මත දෙකක් පවතියි.පළමු මතය වන්නේ මෙහි සිටින්නේ මුරකරුවෙකු නොව මිනිස් වෙස්ගත් නාගරාජයෙකු බවයි.නාගරාජයාගේ රුව ඉතා සියුම් ලෙස නිර්මාණය කර ඇත .එසේම ආභරණ රාජකීය වේ.පෙන පහක් සහිත නාගයෙක් ඔහුගේ හිසට උඩින් සෙවනක් ලෙස ඇත.එක අතකින් පුන්කලසක්ද,අනිත් අතින් දළුලන අත්තක්ද   දරාගෙන  සිටි.එමෙන්ම මෙහි භූත රූප දක්නට ඇත.දෙවන මතය වන්නේ මෙහි සිටින්නේ මුරකරුවෙකු බවයි.එක් අතකින් පුන්කලසක් සහ අනෙක් අතින් බර අවියක් දරාගෙන සිටින බව බොහෝ විචාරකයෝ පවසති.ඇතැම් විට මුරගල ආරක්ෂාව හා සම්බන්ධයෙන් වැදගත් වන නිසාවෙන් මෙම මතය ඉදිරිපත් කරරන්නට ඇත.මෙහි සියලු අංගවල එකතුවක් දැකිය හැකිය. එමෙන්ම “ස්ත්‍රී ස්වභාවයකින් යුතු මුරගලක්ද හමු වී තිබීම විශේෂත්වයකි.සාමාන්‍යයෙන් මුරගල්වලම මුරකරුවා පුරුෂ ස්වභාවයක් ගනී.මෙම ස්ත්‍රී  ස්වභාවයේ මුරගල පොළොන්නරුවේ ආලාහණ පිරිවෙන අසලින් හමු වී ඇත.” (ගුණසේකර, 2017)  වර්තමානයේ දැකිය හැකි ඉතාමත් කාලාත්මක මුරගල ලෙස හැදින්විය හැක්කේ අනුරාධපුරයේ රත්නප්‍රසාදයේ මුරගලයි.එමෙන්ම පොළොන්නරුවේ ඉතා කලාත්මක මුරගල දැකිය හැක්කේ පොළොන්නරු වටදාගෙය ආශ්‍රිතවය. මීට අමතරව ශ්‍රී මහා බෝධිය අවට,රුවන්වලිසෑය අවට,පොළොන්නරුව පරාක්‍රමබාහු රජුගේ රාජසභා මණ්ඩපය අසලින් මෙවැනි මුරගල් හමු වී ඇත.මෙම මුරගලේ කලාත්මක ලක්ෂණ රැසක් පවතියි.සෑම රේඛාවක්ම ඉතා සියුම්ව කැටයම් කිරීම, ත්‍රිමාන ගති ලක්ෂණ ඉස්මතු කිරීම, කැටයම් කලාවේ උපරිම දියුණුව පෙන්නුම් කිරීම එම ලක්ෂණ වලින් කිහිපයක් පමණි.මෙහිදී ඉතා වැදගත් වන්නේ සජීවී බවක් දක්නට ලැබීමයි.එම සජීවී බව නිසාම මිනිසුන් තුල නිරායාසයෙන් අධිගෘහිත තත්වයක් ඇති වේ.එහෙත් එම අධිගෘහිත තත්වය කිසිවෙකුට හානියක් නොපමුණුවන බව සදහන් කල යුතුය.
                                මුරගල නම් විශිෂ්ට කලානිර්මානයේ විකාශනය සියුම්ව අධ්‍යනය කිරීමේදී කරුණු කිහිපයක් අනාවරණය කරගැනීමට හැකියාව ලැබේ.මුරගලේ ආරම්භක අවස්ථාව පෙන්නුම් කරන්නේ එය ආරක්ෂක උපක්‍රමයක් ලෙස භාවිත කල ආකාරයයි.දෙවන අවස්ථාවෙන් පෙනෙන්නේ ආරක්ෂක උපක්‍රමය තවත් ඉදිරියට ගෙන ගොස් මිනිසුන් තුල බිය හා ගෞරවය ඇති කිරීමට උත්සහ කල බවයි.තුන්වන අවස්ථාව වනවිට නාගයා යන සංකල්පය වටා මුරගලේ නිර්මාණශීලි ප්‍රකාශනය එක්තැන් විය .සිව්වන අවස්ථාවේදී ආරක්ෂාව මෙන්ම කලාත්මක අංශයේද කූටප්ප්‍රාප්තිය සිදුවූ බව පෙනේ. එමෙන්ම මුරගල භාවිත කල ආකාරයද වැදගත් වේ.මුරගල භාවිත කර ඇත්තේ ආගමික ගොඩනැගිලිවලට පමණක් නොවේ.ආගමික නොවුනද විශේෂ ගොඩනැගිලි ,ස්ථාන සදහා ආරක්ෂාව අරමුණු කරගෙන පොදුවේ භාවිතා කර ඇත.මුරගල් වල ව්‍යාප්තිය සලකාබැලීමේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල මුරගල් දැකිය හැකි විය.ඒ අතරින් මුරගලේ දියුණුතම කාලවකවානු ලෙස අනුරාධපුර,පොළොන්නරු යුග සුවිශේෂී වේ.එහෙත් මහනුවර යුගය හා එයින් පසු කාලවකවානුවල මුරගල ඉතා විරල කලනිර්මාණයක් විය.එලෙසම මුරගලේ වර්තමාන තත්වය පිළිබඳවද අපගේ අවධානය යොමු විය යුතු ය.වර්තමානයේද පන්සල්වල විහාර මන්දිර ආශ්‍රිතව මුරගල්වල ආකෘති සදා තිබෙයි.මෙම මුරගල් නිර්මාණය කිරීම උදෙසා භාවිත කරන අමුද්‍රව්‍ය වනුයේ කොන්ක්‍රීට්ය.එමෙන්ම ඒවායෙහි ඇති කැටයම්ද අතීතයේ නිර්මාණය කල මුරගල්වල තරම් සියුම්ව නිර්මාණය කර නොමැත.එමෙන්ම පිරිත් මණ්ඩප අභියස ,උත්සව අවස්ථාවල වේදිකා සමීපයෙහි මුරගල් වල ආකෘති වර්තමානයේ භාවිත කරයි.එහෙයින් සමස්තයක් වශයෙන් මුරගල  ශ්‍රී ලාංකේය හෙළ කලාකරුවාගේ විශිෂ්ටත්වය විදහා පෑ අග්‍රගණ්‍ය කලානිර්මාණයක් මෙන්ම අපේ අතීත මුතුන් මිත්තන්ගේ කලාත්මක නිර්වාචික සන්නිවේදන මෙවලමක් බවයි